Live 24

December 1, 2025
Partly cloudy, 28°C
December 1, 2025
Partly cloudy, 28°C
  • Home
  • Politics
  • ඇය යකඩ ගැහැනියකි මේ හිරුණිකාගේ වාරයය
Image

ඇය යකඩ ගැහැනියකි මේ හිරුණිකාගේ වාරයය

‘ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය’ නම් වූ ගෝඨාගේ පොතෙහි සඳහන් වන්නේ අරගලය පටන් ගත්තේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ප්‍රමුඛ සමගි වනිතා බලවේගය බවය. ඔහු සිය පොතෙන් කියන්නේ ඔහුගේ මිරිහාන නිවෙස වටලන්න ආ තරුණ තරුණියන්ගේ බය නැති කළේ හිරුණිකා කියාය. පළමුව හිරුණිකා ඔහුගේ නිවෙස වටලා ගෝඨා ගැන මිනිස්සුන්ට තිබුණු බය නැති කළාය. ඒ කාලේ මිනිස්සු හිටියේ ගෝඨාගේ නම කියන්නත් බය වෙලාය. ගෝඨා ඔහුගේ පොතෙහි කියන කතාව හරිය. ඒ බය නැති කළේ හිරුණිකාය.Live 24

හිරුණිකා නිකම්ම නිකම් දේශපාලන කාන්තා චරිතයක් නොවේ. රාජපක්ෂලාගේ ගල් ලෙන බිඳින්න වෙඩි නූල පත්තු කළේ ඇයය. රාජපක්ෂලාගේ වැටීම පටන්ගත්තේ 2011 නගර සභා ඡන්දයෙන්ය. ඒ ඡන්දයේදී කොළොන්නාව නගර සභාවට හිරුණිකාගේ පියා වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රත්, දුමින්ද සිල්වාත් අතර ද්වන්ධ යුද්ධයක් ඇතිවී තිබිණි. භාරත, විජය සහ චන්ද්‍රිකාගේ ගෝලයෙකි. විජයගේ මහජන පක්ෂයේ ප්‍රබලයෙකි. චන්ද්‍රිකා 1992 යළි ශ්‍රීලනිපයට සම්බන්ධ වූ විට භාරතත් යළි ශ්‍රීලනිපයට එක්විය. භාරත ශ්‍රීලනිපයට සම්බන්ධ වූවාට පසු වැඩ කළේ ඔහුගේ හිටපු නායිකාවක වන චන්ද්‍රිකා සමග නොව චන්ද්‍රිකාට අභියෝග කළ මහින්ද රාජපක්ෂ සමගය. 2005 ජනාධිපතිවරණයේදී මහින්දට පෝස්ටර් ගහගන්න කවුරුවත් හිටියේ නැත. ඒ වෙලාවේ මහින්ද වෙනුවෙන් කොළඹ තාප්පවල පෝස්ටර් ගැහුවේ භාරත ලක්ෂ්මන්ය. මේ නිසාම මහින්ද ජනාධිපති වී ඔහුව උපදේශකයෙක් කරගත්තේය. හම්බන්තොටට කොටි ඇවිත් කියා නිවුස් එකක් දැම්මා කියා හිරු ගුවන්විදුලිය තහනම් කොට දුමින්ද සිල්වාව මහින්ද ආණ්ඩුවට ගත්තේ පසුවය. දුමින්ද සෙට්වුණේ ගෝඨාභය සමගය. භාරත සහ දුමින්ද යන දෙදෙනාගේම බලකොටුව වූයේ කොළොන්නාවය. ගෝඨාගේ බලපෑම මත මහින්දත් දුමින්දගේ පැත්ත ගනිද්දී භාරත වටා එක්වූයේ රාජපක්ෂ පවුලේ දේශපාලනයට එරෙහි නිමල් සිරිපාල, මෛත්‍රිපාල සිරිසේන, සුසිල් ප්‍රේමජයන්ත වැනි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්ය.

භාරතට එරෙහි දුමින්ද සටන 2011 පුංචි ඡන්දයේදී මහා සටනක් බවට පත්විය. එහි ප්‍රතිඵලය භාරත ඝාතනය වීමය. භාරත ඝාතනයෙන් රට ගිනිගනිද්දී මහින්ද, මෛත්‍රිපාලට එන්න කියා බැණවැදුණේ භාරත එරෙහි දුමින්ද ගින්නට ඔහු සහ නිමල් සිරිපාලලා පිදුරු දැම්මා කියාය. ශ්‍රීලනිපය තුළ පැනනගින ප්‍රශ්නවලදී මහින්ද ගත්තේ රාජපක්ෂ පවුලේ පැත්ත කියා මෛත්‍රී සහ නිමල් සිරිපාලලා මහින්දට එරෙහි කුමන්ත්‍රණ පටන්ගත්හ. ඒ කුමන්ත්‍රණවලට හයිය දුන්නේ විදේශගතව සිට ලංකාවට පැමිණි භාරතගේ දියණිය හිරුණිකා සහ පවුල භාරත ඝාතනය සම්බන්ධයෙන් රාජපක්ෂලාට ඇඟිල්ල දිගු කිරීම නිසාය.

භාරත ඝාතනයෙන් පටන්ගත් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් සහ රාජපක්ෂ පවුල අතර සීතල යුද්ධය 2014 වනවිට ගිනියම් විය. මෛත්‍රීපාල ආණ්ඩුවෙන් එළියට එන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙන්ය. මෛත්‍රිපාලට ගහන්න මහින්ද යූ.ඇන්.පී. මහලේකම් තිස්ස අත්තනායකව ගත්ත වෙලාවේ මෛත්‍රීපාල සහ යූ.ඇන්.පීය වැටෙන්නේ හතර ගාතෙන්ය. ඒ වෙලාවේ තිස්සට මැච් කරන්න මහින්දගේ ආණ්ඩුවෙන් කවුරුන් හෝ ගැනීම කළුනික හොයනවාටත් වඩා දුෂ්කර විය. මෛත්‍රීව විපක්ෂයේ පොදු අපේක්ෂකයා කිරීමේ මෙහෙයුම භාරව සිටි චන්ද්‍රිකා, හිරුණිකාව විපක්ෂයට අරන් එන්නේ ඒ වෙලාවේය. ඉන් පසු මෛත්‍රී දිනවන්න හිරුණිකා රට වටා යයි. වරක් බේරුවල ඡන්ද ව්‍යාපාරයට ගොස් එහි නිවෙසක කෑම ගනිමින් සිටියදී චන්ද්‍රිකාට සහ හිරුණිකාට මහින්දගේ ආධාරකරුවන් ගල් ගසයි. ඒත් චන්ද්‍රිකා සහ හිරුණිකා සැලෙන්නේ නැත. ඇය සටන අතහරින්නේත් නැත.

මෛත්‍රී-රනිල් ආණ්ඩු කාලයේ ඇය තම පියාගේ ඝාතකයා ලෙස චෝදනා ලද දුමින්ද සිල්වාව සිරගෙට යවන්න සමත් වූවාය. 2019 ජනාධිපතිවරණයෙන් ගෝඨා ජයගත් පසු දුමින්දට ජනාධිපති සමාව දී නිදහස් කළත්, හිරුණිකා සටන අතහරින්නේ නැත. තෙල්, ගෑස් පෝලිම් එන්නත් කලින් ඇය සමගි කාන්තා බළකාය සමග ගෝඨාගේ නිවෙස වටලන්නේ රාජපක්ෂලා සමග මරාගෙන මැරෙන සටනකට යමින්ය. ඒ, ලංකා ඉතිහාසයේ අගමැතිගේ හෝ ජනාධිපතිවරයකුගේ පුද්ගලික නිවෙසක් වටලපු පළමු අවස්ථාවය. අනෙක ගෝඨා හමුදාව වටකරගෙන හිටපු ජනාධිපතිවරයෙකි. ගෝඨා සමග හැප්පීම කළු ගලේ ඔළුව ගහගැනීමක් බවට රටේ මතයක් විය. ඒත් හිරුණිකා ඒ කළු ගලේ ඔළුව ගහගන්න ගියාය.

‘මේක කළු ගලක් නෙමේ. බය නැතුව හැප්පෙන්න වරෙල්ලා…’

මේ, ඇය රටට දුන්න පණිවුඩයය. එතැන් සිට ඇය පොලිසිය සමග ගැටෙමින් රට වටා යමින් අරගල කරමින් අරගලයට පන්නරය දුන්නාය. ගෝඨාට රට දමා පැනයන්න සිදුවිය. ඇය ගෝඨා, දුමින්දට දුන්න ජනාධිපති සමාව අධිකරණය ලවාම ඉවත් කරගනු ලැබීය.

හිරුණිකා භාරත ඝාතනය වෙලාවේ රාජපක්ෂලාට ඇඟිල්ල දිගු නොකරන්න කවදාවත් රාජපක්ෂ පවුලට එරෙහි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්ගේ ගැටුම එළියට පනින්නේ නැත. තිස්ස මහින්ද ළඟට ගිය වෙලාවේ මැලවෙමින් තිබූ මෛත්‍රීපාලගේ ඡන්ද සටනට ඇය ඔක්සිජන් නොදෙන්න මෛත්‍රීපාලගේ ඡන්ද සටන පණ ගහලා එන්නේ නැත. රනිල් අගමැති වූයේ ඇයත් දායක වූ ඒ සටනේ ප්‍රතිඵලයක් ලෙසිනි. රනිල් ජනාධිපති වී යූ.ඇන්.පී.කාරයන්ට තනතුරු ලැබුණේ ඇය ගෝඨාගේ ගේ වටලලා අරගලයට පාර කපපු නිසාය.

ඇය යකඩ ගැහැනියකි. ලංකාවේ ක්‍රමය නොහොත් සිස්ටම් එකට අභියෝග කළ ගැහැනියකි. ලංකාවේ සිස්ටම් එකට අභියෝග කරන බොහෝ දෙනෙක්ට අන්තිමේ හිමිවන්නේ හිරගෙදරය. ලංකාවේ සිස්ටම් එකෙන් පිටතින් දේශපාලනයට ආ ප්‍රේමදාස ඝාතනය විය. විජය කුමාරණතුංගට හිරබත් කන්න සිදුවිය. සරත් ෆොන්සේකාට හිරබත් කන්න සිදුවිය. රන්ජන් රාමනායකට හිරබත් කන්න සිදුවිය. මේ හිරුණිකාගේ වාරයය.

ප්‍රේමදාස ඇරෙන්න සිස්ටම් එකට අභියෝග කරන්න ගොස් හිරේට ගිය මේ හැමෝම හතුරා එක්ක ඩීල් දාන්න ගියෝය. විජය ජේ.ආර්.ගෙන් නිදහස ගෙන ජේ.ආර්. එක්ක කුලුපග විය. ෆොන්සේකා මහින්දගෙන් නිදහස ගෙන විපක්ෂය කඩන්න වෙනම පක්ෂ හැදීය. රන්ජන් රනිල්ගෙන් නිදහස ගෙන දේශපාලනයෙන් ඉවත් විය. විජයලා, ෆොන්සේකාලා, රන්ජන්ලා පසුවූ මේ උගුලට හිරුණිකා හසුවේ යැයි සිතිය නොහැකිය.

ලංකාව පැවැත එන්නේ සිංහයාගෙන් යැයි පුරාවෘත්තයක් තිබේ. සිංහයාගේ ලෙන් දොර බිඳලා සිංහයාගෙන් නිදහස් වූ සිංහයාගේ පුත් සිංහබාහු සහ සිංහ සීවලී ඒ පුරාවෘත්තයේ ප්‍රධාන චරිත දෙකකි. රාජපක්ෂලාගේ සිංහ අධිරාජ්‍යයෙන් ලංකාව නිදහස් කරගන්න හිරුණිකා රඟපෑවේ සිංහ සීවලීගේ චරිතයය. තම පියා මරපු ඝාතකයන් පසුපස පන්නන පුතුන් ගැන හොලිවුඩ්, බොලිවුඩ්, කොලිවුඩ් චිත්‍රපටවල දැක තිබේ. ඒත් තම පියාගේ ඝාතකයන් පසුපස පන්නන දූවරුන් විරලය. එහෙම බලනකොට ඇය වික්‍රමාන්විත දියණියකි. පුදුමය ඇය සිය පියාගේ ඝාතකයන් පසුපස පන්නන මාර්ගය ලංකාවේ දේශපාලන සිතියම වෙනස් කිරීමය.

උපුටා ගැනීම මව් රට වැබ් අඩවිය

Releated News

ගණේමුල්ලේ සංජීව ඝාතනයට ආධාර කළ නීතිඥවරියක් කඩවත දී අත්අඩංගුවට

ගණේමුල්ල සංජිව ඝාතනයට ආධාර අනුබල දීම මත මහර අධිකරණ සංකීර්ණයේ සේවය කරන නීතිඥවරියක් ඊයෙ සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…

Oct 29, 2025
පුටුව උඩ අවසන් ගමන් ගිය වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති

වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර මහතා පසුගිය පළාත් පාලන ඡන්දයේදී සමගි ජනබලවේගයෙන් තරග…

Oct 22, 2025
බස්නාහිර පළාත් හා අමාත්‍ය ධූරය සඳහා ප්‍රබල මාධ්‍ය හිමිකරුවෙක් තරගයට

ලබන වසරේ අප්‍රේල් මස පැවැත්වීමට නියමිත පළාත් සභා මහ මැතිවරණය සඳහා තරග වැදීමට ප්‍රබල මාධ්‍ය හිමිකරුවෙකු මහා අමාත්‍ය…

Oct 10, 2025
වාර්තාවක් නිසා සජිත් සහ කථානායක පැටලෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කථානායක ජගත් වික්‍රමරත්න මහතා අතර අද (23) පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක් ඇති වුණා. ආරක්ෂක…

Sep 23, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *