මීගමුව බන්ධනාගාරයේ අද (06) උදෑසන ඇති වූ ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
බන්ධනාගාර නිලධාරීන් ඇතුළුව තවත් 100කට අධික පිරිසක් මේ ගැටුමෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටී.
මීගමුව රෝහල පැවසුවේ, මිය ගිය අයගේ හා තුවාල ලැබූ ඇතැමුන්ගේ සිරුරවල වෙඩි ප්‍රහාරවලින් සිදුවූ තුවාලද දක්නට ලැබුණු බවය.
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අද උදෑසන සංවිධානාත්මකව සිදුකළ පහරදීම්වලින් මෙම ගැටුම හටගත් අතර තත්ත්වය පාලනයට වෙඩිතැබීමටද ආරක්ෂක අංශවලට සිදුවුණි.
අද උදෑසන මෙම සිද්ධිය ඇතිවූයේ ඊයේ (05) බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන් තත්ත්වය මැදියම් රැය වන විට පාලනය කර තිබූ පසුබිමකය.
කෙටිකාලීන සිරකරුවන් හා රිමාන්ඩ් සැකකරුවන් 1,800කට අධික පිරිසක් රඳවා සිටින මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් හටගත්තේ ඊයේ පස්වරුවේය.
එම ගැටුමින් රැඳවියන් දෙදෙනකු මිය ගොස් තවත් 100 දෙනකු තුවාල ලැබීය.
මත්ද්‍රව්‍ය ජාවාරමක් පාවාදුන් බව කියන සිද්ධියක් මුල් කරගනිමින් මෙම ගැටුම ඇති වූ බව සඳහන්ය.
පසුව බන්ධනාගාරයේ කාන්තා සහ පිරිමි රැදවියන් පිරිසක් එහි වහල මත නැග විරෝධතාවකද නිරත වූ අතර එහි සිවිලිම කඩාවැටීමෙන් ඇදවැටුණු රැඳවියන් සිව්දෙනෙකුද තුවාල ලබා රෝහල්ගත කෙරුණි.
උද්ගත වූ මෙම තත්ත්වය පාලනය සඳහා ඊයේ රාත් බන්ධනාගාර පරිශ්‍රය වෙත පොලිසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාවද කැඳවනු ලැබීය.
ඒ අනුව මීගමු බන්ධනාගාරය තුළ සහ ඒ අවට පැවති නොසන්සුන්කාරී තත්ත්වය ඊයේ මධ්‍යම රාත්‍රිය වන විට පාලනය කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී.ගජනායක මහතා ප්‍රකාශ කළේය.
