මෙරට ප්‍රසිද්ධ අවන්හල් ජාලයක් වන මිස්ටර් කොත්තු ආයතනයේ හිමිකරු විරාජ් වික්රමනායකව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහරගම පොලිසිය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකරුව ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
තමන් යටතේ සේවය කරන සේවකයෙකුට අමානුෂික ලෙස පහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිදු කරන ලද පුළුල් විමර්ශනවලින් අනතුරුව සැකකරු මෙලෙස අත්අඩංගුවට ගත් බව මහරගම පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළා.
අදාළ අවන්හල තුළ සේවකයෙකුට අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන ආරක්ෂිත කැමරා දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ සීඝ්රයෙන් සංසරණය වීමත් සමඟ මෙම සිදුවීම කෙරෙහි අවධානය යොමුව තිබුණා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා මීට පෙර සඳහන් කර තිබුණේ මෙම දර්ශන පදනම් කරගනිමින් මහරගම පොලිස් ස්ථානය මඟින් විශේෂ විමර්ශනයක් අරඹා ඇති බවයි.
ආරක්ෂිත කැමරා දර්ශනවලට අනුව මෙම පහරදීමේ සිදුවීම පසුගිය මාසයේ 05 වන දින සිදුව ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබුණා.
දිවයිනේ ප්‍රදේශ කිහිපයකම ව්‍යාප්තව පවතින මෙම අවන්හල් ජාලයේ හිමිකරු වන විරාජ් වික්‍රමනායක නැමැත්තා සමාජ මාධ්‍ය හරහා නිරන්තරයෙන්ම පෙනී සිටියේ තම සේවකයන්ට ඉතා ඉහළින් සලකන පුද්ගලයෙකු ලෙස වුවද මෙම ආරක්ෂිත කැමරා දර්ශන මඟින් සේවකයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් පරුෂ වචනයෙන් බැන වැදී පහරදෙන ආකාරය අනාවරණය වීමත් සමඟ සමාජය තුළ දැඩි විවේචනයක් එල්ල වුණා.
