සමාජ මාධ්‍යවලට එක් කරන සෙල්ෆි ඡායාරූපවල අත් සහ ඇඟිලි පැහැදිලිව පෙන්වීමේදී ප්‍රවේශම් විය යුතු බව ආරක්ෂක සහ තාක්ෂණික විශේෂඥයින් ජනතාවට උපදෙස් දෙයි.
ඔවුන් පෙන්වා දෙන්නේ, වර්තමානයේ ඇති අධි-විභේදන ස්මාර්ට්ෆෝන් කැමරා සහ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය හරහා සමීපයෙන් ගත් ඡායාරූපවලින් ඇඟිලි සලකුණු විස්තර පවා හඳුනාගැනීමේ හැකියාව පවතින බවයි.
ඇඟිලි සලකුණු පුද්ගලයෙකුගේ ජෛවමිතික දත්තවල වැදගත් කොටසක් වන අතර, දුරකථන අගුළු ඇරීම, අනන්‍යතාව තහවුරු කිරීම සහ විවිධ ආරක්ෂක පද්ධති සඳහා භාවිතා කරනු ලබයි.
මේ හේතුවෙන් පැහැදිලිව පෙනෙන ඇඟිලි සලකුණු අන්තර්ජාලය හරහා හුවමාරු වීම පුද්ගලිකත්වයට හා ආරක්ෂාවට අවදානමක් විය හැකි බව විශේෂඥයින් සඳහන් කරයි.
විශේෂයෙන්ම ඇඟිලි කැමරාවට ඉතා සමීපව හෝ පැහැදිලිව පෙනෙන ආකාරයෙන් ලබාගත් ඡායාරූපවලදී මෙම අවදානම වැඩි වන බවද ඔවුන් පෙන්වා දෙයි.
ඒ අනුව සමාජ මාධ්‍ය වෙත ඡායාරූප එක් කිරීමේදී පෞද්ගලික ආරක්ෂාව පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්වන ලෙස ජනතාවට උපදෙස් ලබාදී තිබේ.
