ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පිළිබඳ එහි ඉංජිනේරු වෘත්තීය සමිති නියෝජිතයන් සමග සාකච්ඡාවකට අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එක්වීමි.
මෙම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ මූලික පදනම පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට, කාර්යක්ෂම සහ අඛණ්ඩ විදුලිබල සැපයුමක් සහතික කිරීම සහ ස්ථාපිත කළ නව සමාගම්වල අයිතිය රජය යටතේ පවත්වා ගනිමින් රටක් ලෙස බලශක්ති සුරක්ෂිතතාව පවත්වා ගැනීම බව මෙහිදී පෙන්වා දුන්නෙමි.
එසේම, මෙම ක්‍රියාවලියේදී ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට හිමි වූ සියලු අයිතිවාසිකම් නව සමාගම් තුළද තහවුරු කිරීම රජයේ ස්ථාවරය බව පෙන්වා දෙමින්, විදුලිබල මණ්ඩලය ලෙස පැවතියදී විසඳාගත යුතු, එහෙත් මෙතෙක් නොවිසඳී ඇති ගැටලු පිළිබඳවද එම වෘත්තීය සමිති නියෝජිතයන් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කළෙමි.
මෙම පරිවර්තනීය කාලය තුළ සේවකයන් සහ නව සමාගම් අතර මනා අවබෝධයකින් යුතු සංවාදයක් පවත්වා ගැනීමේ වැදගත්කමත්, ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කර ගැනීමේ අවශ්‍යතාවත් පැහැදිලි කරමින්, මෙම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමෙන් මෙරට විදුලි පාරිභෝගිකයන්ට වඩා හොඳ සේවාවක් සහතික කිරීමටත්, ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමටත් එක් වන ලෙස සියලු වෘත්තීය සමිති නියෝජිතයින්ට ආරාධනා කළෙමි.



