දිනකට රුපියල් ලක්ෂයක් කප්පම් ගත් ‘හොරා පොලිස්’ අත්අඩංගුවට

උසස් පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් බිය වද්දා කප්පම් ලබාගත් පුද්ගලයෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ විවිධ පාතාල කල්ලි සාමාජිකයින්ගේ ද නම් භාවිත කරමින් අදාළ පුද්ගලයා විසින් මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවයි.

මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින්ට දුරකථන ඇමතුම් ලබාදෙමින් ඔවුන් බිය වද්දා කප්පම් ලබාගන්නා පුද්ගලයෙක් සම්බන්ධයෙන් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයියාට පැමිණිල්ලක් ලැබී තිබු අතර, ඊට අදාළ විමර්ශන සිදුකරන ලෙස නිශාන්ත ද සොයියා විසින් කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට පවරනු ලැබුවා.

ඒ අනුව කොළඹ දකුණ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලූෂන් සූරියබණ්ඩාරගේ උපදෙස් මත එම කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ප්‍රියන්තගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කළා.

අදාළ ජාවාරමට හසුවු ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකුගෙන්ම ලබාගත් ප්‍රකාශ අනුව අනාවරණ වී ඇත්තේ අදාළ පුද්ගලයා විසින් තමන් උසස් පොලිස් නිලධාරියෙක් බව පවසමින් අවස්ථා කිහිපයකදීම ඔවුන්ගෙන් කප්පම් ලබාගෙන ඇති බවයි.

බොරැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන්ද එලෙස කප්පම් ලබාගැනීමට අදාළ සැකකරු උත්සහ ගෙන තිබු අතර, එම ව්‍යාපාරිකයාට දුරකථනයෙන් අමතා තිබුණා.

“මම තමයි අපරාධ කොට්ඨාසයේ එස්.පී. ප්‍රියන්ත. අර අන්ඩර් වර්ල්ඩ් එකේ කෙහෙල්බද්දර පද්මේ ගේ ඉන්ක්වයරි එක කරන්නේ. මට ඔයා ගැන ඕලුගලත් කිව්වා. අපි පද්මෙගෙ ටැලිෆෝන් ඩීටේල්ස් එකක් ගත්තම ඔයාගේ නොම්මරේත් ඒකේ තියෙනවා. ඔයත් එයාට කතා කරලා තියෙනවා. අපිට ඕන දැනගන්න ඔයා පද්මෙත් එක්ක තිබුණු සම්බන්ධය මොකක්ද කියලා.”

කප්පම් ලබාගැනීමේ අරමුණින් අදාළ සැකකරු තවත් ව්‍යාපාරිකයකුට ඇමතුමක් ලබාදී තැබුණා.

“මම සී.අයි.ඩී. එකේ ඩිරෙක්ටර් එස්.එස්.පී. ප්‍රියන්ත. මම තමයි සහරාන්ගේ කේස් එක කරන්නේ. අපි ඒ සම්බන්ධව ටැලිෆෝන් ඩීටේල්ස් චෙක් කරන කොට ඔයාත් එයත් එක්ක ටැලිෆෝන් ගනුදෙනු කරලා තියෙනවා.”

තමන් එවැනි පුද්ගලයෙකුට ඇමතුම් ලබාගෙන නොමැතියි ව්‍යාපාරිකයා එහිදී පවසා ඇත්තේ,

“නැත්තේ මොකද. මේ අපි ගාව බඩු තියෙන්නේ. ටෙලිෆෝන් ඩීටේල්ස්වලට බොරු කරන්න බැහැ.”

යනුවෙන් එහිදී අදාළ සැකකරු පවසා තිබෙනවා.

එලෙස ඇමතුම් ලබාදී ව්‍යාපාරිකයා බියවද්දන ඔහු සිද්ධිය යටපත් කිරීම සඳහා ව්‍යාපාරිකයාගෙන් මුදල් ද ඉල්ලා තිබුණා.

“හරි දැනට මට මෙහෙම දෙයක් කරන්න. මට තව වාර්තා ටිකක් ගන්න ඕන. ඔයාට පුළුවන්ද මට රුපියල් 32,500ක් එකවුන්ට් එකට දාන්න…”

එහිදී බියට පත්වන ව්‍යාපාරිකයා ඔහු විසින් ලබාදෙන ගිණුම්වලට මුදල් බැරකර ඇති බව ද විමර්ශනවලින් අනාවරණ වී තිබෙනවා.

සැකකරු මෙලෙස දෛනිකව රුපියල් ලක්ෂ ගණනින් එක් එක් ව්‍යාපාරිකයින්ගෙන් මුදල් ලබාගෙන ඇති බවයි විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ.

තමන් පොලිස් ස්ථානයක සිටින බව හැඟවෙන පරිදි විවිධ හඬ පට ප්‍රචාරය කරමින් ඔහු විසින් ඇමතුම් ලබාගෙන ඇති අතර, එලෙස ලබාගත් ඇමතුමක හඬ පටයක් ද අප වෙත ලැබී තිබෙනවා.

“ආයුබෝවන්. 119 මම IP හේරත් කතා කරන්නේ. ඔයගොල්ලන්ගේ ලෑන්ඩ් ෆෝන් නම්බර් එක චෙක් කරගන්න 01124126….. නම්බර් එක හරිද ?

ඔව් හරි.

හරි මහත්මිය මේ නම්බර් එකට B341 යටතේ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණය විසින් අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම් සම්බන්ධයෙන් නියෝගයක් එවලා තියෙනවා.

මාවද ? මොකක්ද ? “

එලෙස ඇමතුම් ලබාදෙමින් ව්‍යාපාරිකයින් බිය ගන්වමින් ඔහු විසින් මෙම මුදල් ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර, විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ ව්‍යාපාරිකයන් 100 දෙනකුට ආසන්න පිරිසකට මෙලෙස දුරකථන ඇමතුම් ලබාදී මුදල් ලබාගැනීමට උත්සාහ ගෙන ඇති බවයි.

ඉන් බොහෝ පිරිසක් මුදල් තැන්පත් කර ඇති ‍අතර, සැකකරු විසින් එම මුදල් කාඩ්පත් හරහා ලබාගන්නා අයුරුද CCTV දර්ශනවල දැක්වෙනවා.

අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කළ පොලිසිය, උපාය දූතියක් ලෙස පොලිස් නිලධාරිනියක් යොදවා ඔහු සමඟ පෙම් සබඳතාවක්ද ගොඩනගාගෙන තිබුණා.

දින කිහිපයක් ඇය සමඟ ඔහු පෙමින් බැඳී තිබු අතර, හමුවීමට ද එකඟ වී තිබුණා.

කෙසේ වෙතත් ඇය සම්බන්ධයෙන් සැකකරුට සැක මතුව තිබෙනවා.

“ඔයත් පොලිසියේ නේද වැඩකරන්නේ. පොලිසිය මදි මාව තම්බන්න ”

එලෙස පැවසූ සැකකරු එම සම්බන්ධතාවය නතර කර තිබෙනවා.

කෙසේ වෙතත් උත්සහය අත් නොහළ විමර්ශන නිලධාරීන් විවිධ තාක්ෂණ ක්‍රමවේද උපයෝගි කරගනිමින් අදාළ සැකකරු බොරැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා.

කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ තමා දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙක් බවයි.

අයිස් මත්ද්‍රව්‍ය සඳහා දිනකට රුපියල් හැටදහසක් පමණ අවශ්‍ය වන බැවින් එම මුදල ව්‍යාපාරිකයින් බිය වද්දා ලබාගන්නා බවත්, දිනකට රුපියල් ලක්ෂයක පමණ මුදලක් එලෙස ලබාගන්නා බවත් ඔහු පවසා තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු 38 හැවිරිදි රත්මලාන ඇඟුලාන ප්‍රදේශයේ පදිංචි කරුවෙක් වන අතර, අඟුලානේ මල්ලි නමැති අනවර්ථ නාමයෙන්ද පෙනී සිට තිබෙනවා.

කොල්ලකෑම් සම්බන්ධයෙන් වරින් වර වසර 17ක කාලයක් බන්ධනාගාරව ඇති අතර ඔහු බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ ද රඳවා සිටි අයෙක් බවට අනාවරණ වී තිබෙනවා.

ඔහු විසින් සිදුකළ මෙවැනි ජාවාරම් සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදුකරන බවද පොලිසිය සඳහන් කළා.

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect