ශ්‍රී ලංකාවේ පවතින නීති රාමුව යටතේ Cryptocurrency භාවිතය නීත්‍යනුකූල ද?

ඔබ ඩිජිටල් ලෝකය තුළ සැරිසරන්නෙකු නම් ඔබ ක්‍රිප්ටෝ මුදල් (Cryptocurrency) ගැන නොඇසූ අයෙකු වීමට ඇති ඉඩ ඉතා අල්ප ය.

සමාජ මාධ්‍ය වේදිකා සියල්ලක ම පාහේ අද වන විට විවිධ පාර්ශව විසින් ක්‍රිප්ටෝ මුදල් ප්‍රවර්ධනය කරනු ලබනවා පමණක් නොව ඒ සම්බන්ධ ට්‍රේඩින් (trading) වැනි ක්‍රියාකාරම් ද ප්‍රවර්ධනය කරන ආකාරය නිරීක්ෂණය කළ හැක.

ක්‍රිප්ටෝ ට්‍රේඩින් ගැන උගන්වන ඔන්ලයින් පන්ති, වැඩමුළු සහ වීඩියෝ ආදිය දැකගත නොහැකි සමාජ මාධ්‍ය වේදිකාවක් අද නොමැති තරම් ය.

ගෝලීය වෙළෙඳපොළ දත්ත සහ ව්‍යාපාර තොරතුරු සඳහන් වේදිකාවක් වන Statista පවසන පරිදි ශ්‍රී ලංකාවේ ඩිජිටල් වත්කම් වෙළෙඳපොළ 2025 වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 62.6ක ආදායමක් කරා ළඟා වනු ඇතැයි පුරෝකථනය කර ඇත.

එසේ වුව ද මේ සියල්ල ශ්‍රී ලංකාව තුළ ක්‍රිප්ටෝ මුදල් භාවිතය සහ එහි ආයෝජනය සම්බන්ධයෙන් පවතින නෛතික තත්ත්වය මෙන් ම අවදානම් පිළිබඳව සොයා බැලීම සඳහා අප තල්ලු කරයි.

ක්‍රිප්ටෝ මුදල් යනු මොනවා ද?

ක්‍රිප්ටෝ මුදල් යනු, රටක පිළිගත් මූල්‍ය අධිකාරියක මැදිහත්වීමකින් තොරව පෞද්ගලික වශයෙන් ජනනය කරනු ලබන අතථ්‍ය මුදල් වර්ගයක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙම ක්‍රිප්ටෝ මුදල්, ගුප්තකේතන විද්‍යාව (Cryptography) සහ ව්‍යාප්ත ලෙජර් තාක්ෂණය (Distributed Ledger Technology) හෝ ඒ හා සමාන තාක්ෂණය භාවිතයෙන් ක්‍රියාවට නංවන, වටිනාකම් පිළිබඳ ඩිජිටල් නිරූපණයක් ලෙස හැඳින්විය හැකි බව ය.

ක්‍රිප්ටෝ මුදල් ලාභදායී ආයෝජන ක්‍රමයක් ලෙස විවිධ පුද්ගලයින් සහ ව්‍යාපාර විසින් පුළුල් ලෙස ප්‍රවර්ධනය කරනු ලබන බව නිරීක්ෂණය වී ඇති නමුත් මෑතකාලීනව ලැබුණු පැමිණිලිවලින් පෙනී යන්නේ, එසේ සිදු කරනු ලැබූ ආයෝජනවලින් මහ ජනතාවට විශාල ලෙස මූල්‍ය පාඩු සිදු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.

ඇතැම් අවස්ථාවලදී ක්‍රිප්ටෝ යෝජනා ක්‍රම ලෙස ක්‍රියාත්මක කරනු ලැබූ මූල්‍ය වංචාවන්වලට හසු වී ඇති බව ඔවුහු පවසති.

ක්‍රිප්ටෝ මුදල් භෞතිකව පරිහරණය කළ නොහැක. ඉන් අදහස් වන්නේ, ඒවා අප එදිනදා ගනුදෙනුවලදී භාවිත කරන භෞතික මුදල් මෙන් භාවිත කළ නොහැකි බව වන අතර ඉන්ටර්නෙට් මගින් සිදු කරන ගනුදෙනුවලදී භාවිත කළ හැකි බව යන්න ය.

බොහෝ දෙනෙකු දන්නා Bitcoin (BTC) මෙන් ම, Ethereum (ETH) → Tether (USDT), Binance Coin (BNB), USD Coin (USDC) ආදිය වර්තමානය භාවිත වන ක්‍රිප්ටෝ මුදල්වලට උදාහරණ වේ.

ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවතින නෛතික තත්ත්වය කුමක් ද?

ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජපානය, ඔස්ට්‍රේලියාව ආදී රටවල් ක්‍රිප්ටෝ මුදල් වලංගු මුදල් ඒකකයක් ලෙස සලකුවුව ද ශ්‍රී ලංකාව තුළ එම තත්ත්වය වෙනස් ය.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන පරිදි ක්‍රිප්ටෝ මුදල් වලංගු මුදල් (Legal Tender) ලෙස නොසලකන අතර ඒවායේ භාවිතය සම්බන්ධයෙන් මෙරට තුළ නියාමන ආරක්ෂණයක් ද නොපවතී.

එසේ ම, ක්‍රිප්ටෝ මුදල් ශ්‍රී ලංකාව තුළ පිළිගත් වත්කම් ප්‍රභේදයක් නොවන අතර එය නියාමනය නොවන ආයෝජන උපකරණයක් බව ද මහ බැංකුව අවධාරණය කරයි.

2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නිකුත් කරන ලද 2021 අංක 03 දරන නියෝගය ප්‍රකාරව ක්‍රිප්ටෝ මුදල් ගනුදෙනු හා සම්බන්ධ ගෙවීම් සඳහා හර කාඩ්පත් (Debit Cards) සහ ණය කාඩ්පත් (Credit Cards) වැනි විද්‍යුත් මුදල් හුවමාරු කිරීමේ කාඩ්පත් (Electronic Fund Transfer Cards) භාවිත කිරීමට ද අවසර හිමි නොවේ.

ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ, ක්‍රිප්ටෝ මුදල් අවිධිමත් මාධ්‍ය හරහා ක්‍රියාත්මක වන බැවින් එය ජාතික ආර්ථිකයට දායකත්වයක් නොදක්වන අතර රටට වටිනා විදේශ මුදල් අහිමි වීමට ද එය හේතුවක් විය හැකි බව ය.

මීට පෙර අවස්ථාවකදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව තුළ ක්‍රිප්ටෝ මුදල් භාවිතය නීත්‍යනුකූල නොවන බව ය.

“අපි පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා, ලංකාව තුළ ක්‍රිප්ටෝකරන්සි භාවිතය නීත්‍යනුකූල නැහැ කියලා. පැහැදිලිව ම ලංකාව තුළ භාවිත කරන මුදල් ඒකකය රුපියල. ඒක තමයි භාවිත කළ යුත්තේ. එහෙම භාවිත කරන බවට දන්නවා නම්, අපිට ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න පුළුවන්,” ඔහු පැවසීය.

මුදල් විශුද්ධිකරණය වැනි ක්‍රියාවලට ක්‍රිප්ටෝ මුදල් “වැඩි වශයෙන්” භාවිත වන බව ඔහු එහිදී පැවසීය.

ක්‍රිප්ටෝ මුදල් භාවිතයෙන් ඇතිවිය හැකි අවදානම් මොනවා ද?

ක්‍රිප්ටෝ මුදල් ප්‍රවර්ධනය කරන පාර්ශව ඒවා භාවිතයේ ඇති පහසුව සහ ලාභදායි බව නිරන්තරයෙන් උපුටා දැක්වුව ද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රිප්ටෝ මුදල් භාවිතය මගින් පරිශීලකයින්ට ඇතිවිය හැකි සැලකිය යුතු මූල්‍ය, මෙහෙයුම්, නෛතික සහ ආරක්ෂාව සම්බන්ධ අවදානම් මෙන් ම පාරිභෝගික ආරක්ෂණ ගැටලු පිළිබඳව පෙන්වා දී තිබේ.

මෑත කාලයේ සිදු වූ ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධ ව්‍යාපාරවල නිරත වූ විවිධ ගෝලීය ආයතනවල කඩා වැටීම් සහ ඇතැම් ක්‍රිප්ටෝ මුදල්වල ස්ථාවරත්වය අඩු වී යාමෙන් ඒවායේ වටිනාකම බෙහෙවින් අඩු වීමත් සමග මෙම අවදානම් සහ ගැටලු නැවතත් තහවුරු වූ බව ඔවුහු පෙන්වා දෙති.

ක්‍රිප්ටෝ මුදල් යනු ඉහළ අවදානමක් සහිත අස්ථාවර වත්කමකි. බොහෝ අධිඅවදානම් ආයෝජන මෙන්, එය ද උත්පාත සහ බිඳවැටීම් චක්‍ර හරහා ගමන් කරන අතර, ඔබ එය මිල දී ගන්නා විට (හෝ අත්පත් කර ගන්නා විට) එය ඔබව කෝටිපතියෙකු කිරීමට හෝ බංකොලොත් කිරීමට හේතු විය හැක.

මහ බැංකු අධිපතිවරයා ද මේවා භාවිතයේ ඇති අවදානම් තත්ත්ව පිළිබඳව මීට පෙර පැහැදිලි කර තිබිණි.

“අපි දකිනවා ක්‍රිප්ටෝකරන්සිවල ආයෝජනය කරපු අයට මේක අඩු වැඩි වීම නිසා තමන්ගේ මුදල් නැති වෙලා තියෙනවා. වංචාවලට අහුවෙලා තියෙනවා,” ඔහු පැවසීය.

ක්‍රිප්ටෝ මුදල්වල ආයෝජන කර ඉහළ ප්‍රතිලාභ ලබා දෙන බවට පොරොන්දු වෙමින් ක්‍රියාත්මක වන මූල්‍ය වංචාවන්වල ශීඝ්‍ර වර්ධනයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මීට පෙර අවස්ථා කිහිපයකදී ම අනතුරු අඟවා තිබිණි.

ක්‍රිප්ටෝ මුදල්වල ආයෝජනය කිරීම මගින් අධික ප්‍රතිලාභ ලබා දීමේ පොරොන්දුව ඇතිව පුද්ගලයන්ගෙන් වංචනික ලෙස මුදල් ලබා ගැනීම මෙන් ම වංචනික ක්‍රිප්ටෝ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීම වෙනුවෙන් පුද්ගලයින් රැවටීම ද මෙම වංචාවලට ඇතුළත් බව ඔවුහු පැවසූහ.

ශ්‍රී ලංකා මහා බැංකුව පවසන්නේ, ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම සඳහා කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට කිසිදු බලපත්‍රයක් හෝ අවසරයක් ලබා දී නොමැති බව ත් ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධ මූලික කාසි නිකුතුවකට (Initial Coin Offering) හෝ එහි කිසිදු ප්‍රභේදයකට, ක්‍රිප්ටෝ මුදල් ජනනය කිරීමේ කාර්යයකට (Cryptocurrency Mining Operations), ක්‍රිප්ටෝ මුදල් හුවමාරුවකට (Cryptocurrency Exchange), ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධ තැන්පතු භාර ගැනීම හෝ භාරකාර සේවා සැපයීමට හෝ ක්‍රිප්ටෝ මුදල් ආයෝජන උපදේශන සේවා සඳහා තමන් විසින් කිසිදු අනුමැතියක් ලබා දෙනු ලැබ නොමැති බව ය.

මෙවැනි පසුබිමක වත්මන් ශ්‍රී ලංකා රජයේ කැබිනට් අමාත්‍යවරයෙකු තම වත්කම් හෙළි කිරීමේදී ක්‍රිප්ටෝ මුදල්වලින් උපයාගත් මුදල් වත්කමක් ලෙස සඳහන් කර ඇති අයුරු ඉකුත් දා දැක ගැනීමට හැකි විය.

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect